Friday, 23 July 2010

Missed Call & Blank e-mail

හිත හදාගෙන - නෙතු පියාගෙන
ගෙවන නුඹ නැති ජීවිතේ
දුක දරාගෙන නිදන්නම්
මතකයට තුරුළුව හදවතේ
දඟකරන්නට එපා
මං ඇහැරවන්නට එපා
මැදියම් රැයේ - වැරදිලාවත්
මට දුක හිතෙයි
නුඹ ගිහින් වග
වැටහුනෝතින් - බැරිවෙලාවත්..!
ජීවිතේ කඳුළක්..
ආදරේ සුසුමක්...
කලාතුරකින් මං මතක් වී
එවන හිස් ලියුමත්..
සත්තකයි "කවියක්".... !

chandana_jayakody@yahoo.com

Monday, 4 January 2010

සඳ එළිය, ඔබ සහ මම (කෙටි ම කෙටි සටහනක්..............................)

ජීවිතය වෙලාවකට දුර ගමනක් යන කෝච්චියක් වගේ. අතරමග මොනතරම් නැවතුම් පොලවල් තිබුණත් ඒ දිහා බලන්නේ වත් නැතුව හැල්මේ දුවනවා. කවදාහරි දිනෙක මං සඳු ගැන ලියන බවත්, ඉන්පසු කවමදාකවත් ඇය ගැන නැවත නොලියන බවත් කියනකොට, ඒ `කවදාහරි දවස`, මෙතරම් ඉක්මනින් උදාවෙයි කියලා කවුරුවත් හිතන්න නැතුව ඇති.

ජීවිතේ හැටි එහෙම තමයි. සදාකාලිකයි කියලා අපි හිතපු හුඟක් දේවල් වෙනස් වෙන්න යන්නේ තත්පර ගාණක් විතරයි.

කතාවක් ලියන්න පටන්ගත්ත හැම දවසක ම ලියන්න කලින් මම හිතින් මුමුණපු දෙයක් තියෙනවා. ඒත් ආයේ කවදාවත් මේ දේ ගැන නොලියන නිසා හැම දේකටම කලින් මුලින් ම මගේ හිතට එන මේ වචන ටික මම අද මෙතන ලියනවා.........

මේ සීත කුටීරේ ....මේසයක් මතට නැග
පුරා දින-සති-මාස, අවුරුදුත් ගණනක් ම
පිපාසිත මුව හයා සිටි
මගේ උල්පත් පෑන් තලයට - කඳුළු පිරවූ
සඳු ට
ආදරයෙනි..


කාලය වේගයෙන් පියඹාගෙන යනවා. ඉගිල්ලිලා යන කාලය දිහා උපේක්ෂාවෙන් බලන් හිටපු හැම දවසක ම ආදරය, ගැන මට කියල දුන්නු ගොඩදෙනෙක් ව මතක්වෙනවා. ඒ අය අතරින් එක්තරා කාලෙක මට හිටපු ,හොඳ ම යාළුවා, (හෙවත් හැමදාම මාත් එක්ක රණ්ඩු වුනු මගේ තරහාකාරයා) මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඇත්තම කියනවා නම් අපි හැමදාමත් රණ්ඩුවුනා. කෙළවරක් නැතුව, දිගින් දිගට ම සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවත් අපි රණ්ඩුවුනා. අපි හොඳටම බැන ගත්තා. අපි දෙන්නා ගැන දන්න කවුරුවත් විනාඩි 2 - 3 කට වඩා අපි රණ්ඩු නොවී ඉඳියි කියලා විශ්වාස කලේ නැහැ.

ඒත් සඳුගේ එක හොඳ පුරුද්දක් මට කවදාවත් ම අමතක වෙන්නේ නෑ. කොයිතරම් රණ්ඩු සරුවල් වුනත් සඳු කවදාවත් ප්‍රසිද්ධියේ මාව අවමානයට ලක්කලේ නැහැ. සාදයක දී එහෙමත් නැත්නම් යාළුවො කට්ටිය සෙට් වෙන තැනකදී හැමදාමත් මං ලඟින් ම හිටියේ සඳු. අපි අතර තියෙන ගැටුම් මතවාදීමය ඒවා මිසක් පෞද්ගලික ඒවා නොවන බව පෙන්වන්න එයා හැමවිටම උත්සාහ කලා. (ඒත් ඇත්ත කතාව නම් අපි බෝහෝවිට රණ්ඩුවුනේ සිද්ධිමය කාරණා වලට. අද මට දැනෙන විදිහට ඒවට වැඩියක් හේතුවුනේ මගේ තිබුනු ඔලමොට්ටල ඊරිසියාව සහ ඊටම අදාල වෙනත් අවශේෂ කාරණා.) සමහර රණ්ඩු ගොඩාක් දුරදිග ගිහිල්ලා මගෙ හිත හොඳටම රිදිලා ඉන්න වෙලාවට, තමන්ගේ තත්වය ගැන මොහොතක්වත් නොසිතා, සාමාන්‍යයෙන් කිසිම යාළුවෙක් නොකරන තරම් කැපකිරීමක් වුනත් ප්‍රසිද්ධියේ මං වෙනුවෙන් කරන්න එයා ලෑස්තිවෙලා හිටියා.

පුංචි ම පුංචි දේටත් තරහාවෙලා, අනිත් එකා මැරෙන්න වැටිලා හිටියත් බලන්නෙවත් නැතුව ඉන්න අදකාලේ සමහර යාළුවෝ දකින හැම මොහොතක ම, මට සඳු ව මතක් වෙනවා. එතකොට ඒ කාලේ අහපු නාට්‍ය ගීතයක් මගේ හිතට එනවා. ඒ වෙලාවට පදයක් දෙකක් එහාට මෙහාට කරලා මං ඒ සිංදුව හිතින් කියනවා.

ඉර හඳ කඩාගෙනවුත් පාමුල තබමි සත්තයි...
සිත් මල් යාය නොතැළූ
හොඳ යාළුවෙක් උන්නා...........
සක්වල ගලට මෙපිටින්...

හරියට ම ,ඇට මැස්සා, පොතේ ,ආතර් සහ ජිම්, වගේ වගේ අපි එකිනෙකා ට අසීමිත ලෙස ගෞරව කලා. සඳු ට XXXXX රෝගය තියෙනවා කියලා දැනගත්ත වෙලාවේ මම හොඳටම ඇඬුවා. ඒත් කිසිම ගානක් නැතුව එයා මගේ ලඟට ඇවිත් මෙහෙම කිව්වා , `බය වෙන්න එපා හලෝ.... මම මැරෙන්නේ නැහැ` . එයා ඒක කිව්වේ හරියට පොරොන්දුවක් වෙනවා වගේ. කවදාවත් ම පොරොන්දුවක් කඩකරලා නැති සඳුව එදා විශ්වාස කලේ නැති එක ගැන අද මම ලැජ්ජා වෙනවා .එයා ඒ පොරොන්දුව ඉෂ්ඨ කලා. සීතල මරණය ඉතාමත් අභියෝගාත්මක විදිහට පරාජය කලා.

මගේ යාළුවා ඒ වගේ කෙනෙක්. එයා මට විතරක් නෙමෙයි හැමදේට ම, ස්වභාවධර්මයට පවා අභියෝග කලා. නිර්භිත මිනිසුන් ට ස්වභාව ධර්මය පවා හිස නමන බව මම සඳුගෙන් ඉගෙනගත්තා. ඒත් හිතාගන්නවත් බැරිතරම් සමහර අවදානම් වැඩ කලේ ඇයි කියලා මම අහපු ප්‍රශ්නෙට උත්තරේ එයා මට දුන්නේ අන්තිම දවසේ දි. `මාව මොන අමාරුවක වැටුණත් ඔයා මාව බේරගනියි කියන විශ්වාසය මට තිබුණා`. එයා ඒක කිව්වේ හිනාවෙවී.......... ඒ වෙලාවෙ නම් මට එයාගේ බෙල්ල මිරිකන්න හිතුනා.

ඊට අවුරුදු ගාණකට පස්සේ ඊයේ පෙරේදා දවසක ...... එයා ආයෙත් මට කතා කලා.

`අඳුරන්න පුළුවන් ද`.... එයා මගෙන් ඇහුවා. `කවදාවත් ම නැති තරමට අද මට ඔයාව වැටහෙනවා` කියලා කියන්න හිතුනත් මම එහෙම කිව්වේ නෑ.

`මට අර කම්මුල් පාර තාම රිදෙනවා.....` සඳු එහෙම කිව්වේ හිතේ හංගගෙන හිටපු සියුම් වේදනාවකින් කියලා මට හිතුනා. එතකොට ආයෙමත් මට ඇට මැස්සා, පොත මතක් වුනා......

"And so, you see, my dear, you had no need to break your heart over that old story of the blow. It was a hard hit, of course; but I have had plenty of others as hard, and yet I have managed to get
over them,--even to pay back a few of them,--and here I am still, like the mackerel in our nursery-book (I forget its name), 'Alive and kicking, oh!' This is my last kick, though; and then, to-morrow morning, and--'Finita la Commedia!' You and I will translate that: 'The variety show is over'

ජීවිතයේ අවසන් වරට අප මුණගැහෙන දින නිසැකව ම ඔබට ඇය හමුවනු ඇත. ශෝකී මුහුණු වලින් යුතුව එකිනෙකා පසුපස ඇදෙන මිනිසුන් අතර හිනැහෙමින් සිටින කිසිවෙකු ඔබ දකින්නේ නම් ඒ ඇයයි. හැඬුම් වැලපුම් සියල්ල අවසන සියල්ලෝ ම නැවත සිනාසෙන්නට පටන්ගත් විට කිසිවෙකුටත් වටහාගත නොහැකි ලෙස ඉකිබිඳින්නේත්, මුමුනන්නේ ත් ඊට සුළු මොහොතකට කළින් සිනාසුනු තැනැත්තියම බව ඔබට හඳුනාගත හැකිවනු ඇත.

මල හිරු බැසයන ඒ මොහොතේ මදක් පසු පසට ආපසු ඇවිද එන ඔබට ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සොහොන් කොත සොයාගැනීමට අපහසු නොවනු ඇතැයි මම සිතමි.... එහි මෙසේ ලියා තිබේ.....

`විසල් මතක මැද - පහන් තරුව ඔබ
බොඳවුන සිහිනෙක - අරුණෝදය ඔබ
වැලපෙන වෙරළට - දිය බිංදුව ඔබ
වියැළුණු කතරට - සිනහ සිහිල ඔබ
ප්‍රේම පරාදීසේ................ `



chandana_jayakody@yahoo.com